Thursday, July 10, 2008

ඕපන් සෝස් හරියට පොළක් වගේ !

ලංකාවේ සාපේක්ෂරතා මට්ටම ඉහළ වුවත් පරිගණක සාක්ෂරතාව තවමත් ඇත්තේ බොහොම පහළ මට්ටමකය. ලෝකය පුරා මෙන්ම ලංකාවේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් අති බහුතරය භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය මෙම තත්ත්වය එක මොහොතකින් පසුව පරිගණක සාක්ෂරතාවයේ වර්ධනයට බාධාවක් වීමට නියමිතය. එයට විකල්පය ඕපන් සෝස්ද? මේ පිළිබඳව අපි ලංකා නෙට් ආයතනයේ සම්බන්ධීකාරක මහින්ද හත්තකගෙන් කරුණු විමසුවෙමු.

මොකක්ද මේ ඕපන් සෝස් කියන්නේ?
පරිගණක මෘදුකාංග වර්ගයක්. වෙළෙඳ පොළේ තියෙන වින්ඩෝස් කියන මෘදුකාංගය දේපල නීතිය යටතේ අයිති පෞද්ගලික සමාගමකටයි අයිති. දැනට ලෝකය පුරා මතයක් පැතිරී යනවා මේ අයිතිය තව දුරටත් පුද්ගලික අයිතියක් නොපැවතිය යුතුයි කියලා . ඕපන් සෝස් කියන්නේ මේ වෙළෙඳ ඒකාධිකාරයට විකල්පයක් ලෙස දියුණු වෙමින් පවතින මෘදුකාංග වර්ගයක්.

වින්ඩෝස් කියන්නේත් ඉතා සාර්ථක ජනප්‍රිය මෘදුකාංගයක්. ඒ තත්ත්වය යටතේ අපට විකල්පයක් අවශ්‍ය වන්නේ ඇයි?
වින්ඩෝස් භාවිතා කරන්න විශාල මුදලක් වැය කරන්න වෙනවා. දැන් මෙතෙක් කල් අපි කොපි කරපු පිටපත් භාවිතා කලාට මයික්‍රොසොෆ්ට්ලා නඩු පැවරුවේ නැහැ. නමුත් දැන් ඔවුන් එය සිදු කරගෙන යනවා. ලංකාවේ මේ මෘදුකාංගයක් මිලදී ගැනීමට රුපියල් 25000/30000 අතර මුදලක් වැය කිරීමට සිදුවෙනවා. බුද්ධිමය දේපල නීතිය යටතේ පිටපත් කොපි කරගැනීම නීති විරෝධීයි. දඬුවම් කළ හැකියි. සමාගමට හැර භාවිතා කරන්නන්ට අවශ්‍ය වෙනස්කම් කර ගැනීමට වින්ඩෝස් මෘදුකාංගවල හැකියාවක් නැහැ. මේ හේතු නිසා ලෝකයේ විවිධ රටවල් පරිගණක විද්‍යාඥයන් සහ පරිගණක තාක්ෂණික ශිල්පීන් ස්වේච්ඡාවෙන් ගොඩ නඟමින් පවතින දෙයක් තමයි ඕපන් සෝස් කියන්නේ. ඒ නිසා මේක පවතින පරිගණක ඒකාධිකාරයට විරුද්ධ ව යන ප්‍රවාහයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කොහොමද ඕපන් සෝස් මුලින් ම බිහිවුනේ?
ෆින්ලන්ඞ්වල ලිනක්ස් කියලා පුද්ගලයෙක් ලිනක්ස් නිර්මාණය කළා. ඒ වෙනකොට යුනික්ස්වලට විශාල වියදමක් ගිය නිසා ලිනක්ස් නිර්මාණය කර ජෙනරල් පබ්ලික් ලයිසන්ස්(GPL) විදිහට අන්තර්ජාලයට එක්කළා. එහි ස්වභාවය අනුවම ඕනම කෙනෙකුට මෙහි කොපි අරගෙන ඒක තව ටිකක් දියුණු කරන්න හෝ නවාංග එකතු කරන්න පුළුවන්. ඒ නිසාම මිනිස්සු අතර මේක ඉක්මනින් ජනප්‍රිය වුනා. මෘදුකාංග සංවර්ධනය කරන අය මේක අරගෙන තවත් දියුණු කලා. ඒ නිසා ඕපන් සෝස් ලෝකේ භාවිතා වෙන අනෙක් මෘදුකාංගවලට ප්‍රබල තර්ජනයක්.

ඕපන් සෝස් ලංකාවේ භාවිතාවට ඇවිත් කොච්චර කල්ද?
දැනට අවුරුදු 10කට විතර ඉස්සර තමයි මේක ලංකාවට ආවේ. නමුත් ඊට වැඩිය කාලයක ඉඳන් ලෝකෙ විවිධ තැන්වල, විශේෂයෙන් ම ඉන්දියාව වැනි රටවල මේක හුඟක් දියුණු වුනා. ඉන්දියාවේ පරිගණක දැනුමේ මෘදුකාංග දියුණු කිරීම තමයි වැදගත් ම මුලාශ්‍රය වෙන්නේ. ඒකට කොපි රයිට් අයිතිය කියන එක විශාල බාධාවක් වුනා. එ්නිසා ලිනක්ස් සිස්ටම් එක වඩාත් දියුණු කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ දැනුම දියුණු කර ගන්න. මේ නිසා ඉන්දියාව වැනි රටවලත් ඊට අමතරව ප්‍රංශය වැනි දියුණු රටවල පවා මේක පාවිච්චි කරනවා. ඔවුන් දකිනවා එය ඇමෙරිකන් ආධිපත්‍යයටත් විරුද්ධව තමන්ගේ ස්වාධිපත්‍ය පවත්වා ගැනීමේ හොඳ ක්‍රමයක් හැටියට. හොඳම නිදසුනක් තමයි ප්‍රංශයේ පොලීසිය. එහි පරිගණක 70000 ක් පමණ තියෙනවා. සාමාන්‍ය විදිහට ඔවුන්ට ඒ සෑම එකක් සඳහාම සොෆ්ට්වෙයා(ර්) සීඩි ගන්න ඕන. ඒ කියන්නේ සොෆ්ට්වෙයා(ර්)සීඩි 70000ක්. ඒක පොලීසියට පවා දරාගන්න බැරි වියදමක් . ඒනිසා ඒගොල්ලෝ ඕපන් සෝස් භාවිතය පටන් ගත්තා. ඕපන් සෝස් කියන එක අපට වෙබ් අඩවි වලින් ගන්න පුළුවන් දෙයක්.

දැන් ලංකාවේ ඕපන් සෝස් භාවිතය කොයි තරම් දුරට ව්‍යාප්ත වෙලාද?
මේක ලංකාවේ ඉතාම අඩුවෙන් භාවිතා වන්නේ. සාමාන්‍යයෙන් මම දන්න විදිහට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ එකේ මේක භාවිතා වෙනවා. ඊට අමතරව පුද්ගලිකව කීප දෙනෙක් තමයි මේ ඕපන් සෝස් පාවිච්චි කරන්නේ. ඔවුන් ඒ විෂය ගැන හොඳ දැනුමක් තියෙන අය. ඕපන් සෝස් සාමාන්‍යයෙන් පරිගණක භාවිතාවට එන්නේ නැත්තේ හේතු කිහිපයක් නිසා. පළමු කාරණේ මෙහි පාවිච්චිය මිනිස්සු බොහෝවිට දන්නේ නැහැ. දෙවෙනි කාරණේ භාවිතාවේදී ඇතිවන ගැටළු වලට විසඳුම් දෙන්න පිරිස් අඩුයි. මයික්‍රොසොෆ්ට් වර්ඞ් පාවිච්චි කරන කොට ඒ ගැන ඉගෙන ගත්ත අය ඉන්නවා. නමුත් ඕපන් සෝස් ගැන ඒවාගේ දැනුම තියෙන පිරිසක් ලංකාවේ නැහැ. ඒනිසා බයක් තියෙනවා ඕපන් සෝස් වලට යන්න. ගිහිල්ලා අතරමං වෙයිද කියලා. නමුත් අනෙක් රටවල් මේක ප්‍රචලිත කරන්න සෑහෙන්න උත්සාහයක් ගන්නවා. ඉන්දියාව වැනි රටක් ගත්තොත් මේ පිළිබඳ දැනුම එහේ හුඟක් ප්‍රචලිතයි.

ඕපන් සෝස් භාවිතයේ ඇති පහසුව මොකක්ද?
මේ මෘදුකාංගය අන්තර්ජාලය හරහා නොමිලේම ලබා ගන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳව හිතලා මුලින්ම හැදුව නිසා වෛරස් ඇටෑක් ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට ඕන විදිහකට සොෆ්ට්වෙයා(ර්) එක වෙනස් කරන්න වැඩි දියුණු කරන්න නිදහස තියෙනවා. ඕපන් සෝස් භාවිතයේදී ගැටලූ ඇතිවෙන ඕනම වෙලාවක තමන්ට මේ ප්‍රශ්ණය ඇති වුනා කියලා දැන්වු විට ඒගැන ක්‍රියාකරන්න විශාල පිරිසක් ඉන්නවා. මේක විශ්වාස කටයුතුයි. ඔරොත්තු දෙන ගුණයෙන් වගේම වේගවත් බවෙන් වැඩියි. අන්තර්ජාල භාවිතයේදීත් කිසිම ගැටලූවක් මතු වෙන්නේ නැහැ. ඕපන් සෝස් හරියට පොළක් වගේ. කේවල් කරන්න පුළුවන්. වින්ඩෝස් සුපර් මාර්කට් එකක් වගේ.

ඕපන් සෝස්වල සාමාන්‍ය සොෆ්ට්වෙයා(ර්)වන වින්ඩෝස් වලට වඩා ආරක්ෂක බවක් තියෙනවාද?
ඇත්තටම ඕපන් සෝස් පාවිච්චි කරන විට වැදගත්ම දේ තමයි වෛරස් වලින් හානියක් වෙන්නේ නැහැ. කවුරුවත් ඕපන් සෝස් වලට වෛරස් හදන්නේ නැහැ. එ්ක විවෘතව තියෙන දෙයක්. ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු ගණනාවකින් කිසිම තැනකින් ප්‍රවෘත්තියක් හෝ ආරංචියක් නැහැ වෛරස් වලින් හානියක් තියෙනවා කියලා ඕපන් සෝස් වලට. එනිසාම තමයි නාසා වැනි ආයතනත් ඔවුන්ගේ පද්ධතියට ලිනක්ස් සිස්ටම් එක පාව්ච්චි කරන්නේ.

ඕපන් සෝස්වල ඇති දුර්වලතා මොනවාද?
වෙන ඔපරේෂන් සිස්ටම්වල හෝ සොෆ්ට්වෙයා(ර්) වගේ මෙය වෙළෙඳ නියෝජිතයෝ මඟින් අලෙවි කිරීමක් නැහැ. එනිසා පසු සේවයක් කියලා එකක් නැහැ. මේක කිසිම වාණිජ පරමාර්ථයකින් ගොඩ නැගුණු එකක් නොවෙයි. මෙහි තියෙන්නේ ස්වේච්ඡා මට්ටමෙන් දියුණුවෙමින් යන තමන්ගේ දැනුම තමන්ට තවත් දැනුම මදිනම් ගන්න පුළුවන්. නැතිව අලෙවි පරමාර්ථයකින් මේක කෙරෙන්නේ නැහැ.

ඕපන් සෝස් මඟින් අනෙක් මෘදුකාංග සමාගම් අත තිබුන ඒකාධිකාරයට ප්‍රබල තර්ජනයක් එල්ල වෙනවා නේද?
ඒ ඒකාධිකාරය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා කියලා කියන්න බැහැ. තවමත් ලෝකෙ වැඩි පිරිසක් වින්ඩෝස් පාවිච්චි කරනවා. ලිනක්ස් සිස්ටම් වැඩිපුර පාවිච්චි කරන්නේ විශාල සමාගම්. මොකද ඒවා ගැන දන්න කාර්මික ශිල්පීන් එහි ඉන්න නිසා. නමුත් පොඩි තැනක පාව්ච්චි කරනකොට ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම අඩු නිසා බොහෝ විට වින්ඩෝස් මත යැපෙන්න වෙලා තියෙනවා. මෙහි තාක්ෂණික දැනුම ප්‍රචාරය වෙලා ගියොත් ඇත්තටම වින්ඩෝස් පාව්ච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට දැනුම තියෙනවා නම් වැඩසටහන තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්න පුළුවන් . ඕපන් සෝස් නිර්මාණය වු ආකාරයවත්, තව දුරටත් නිර්මාණය වෙන විදිහවත් රහසක් නෙවෙයි.

වින්ඩෝස්ලා කළේ තුන්වන ලෝකෙ රටවලට සුද්දා මුලින්ම නොමිලේ අබිං දුන්නා වගේ වැඩක් නේද?
ඔව්. භාවිතයට ඇබිබැහි කරලා ඊට පස්සේ ඒ ගොල්ලන්ගේ වෙළෙඳ ඒකාධිකාරය තහවුරු කර ගැනීමක් . මෙයට පිළියමක් විදිහට තමයි ඉන්දියාව වැනි රටවල ඕපන් සෝස් වේගයෙන් දියුණු වුනේ. මේ අවදානම ඔවුන් කලින් දැකලා එයට විසඳුම සොයා ගත්තා. ලංකාවේ තවම එහෙම නැහැ. ඉන්දියාව වැනි රටවල රජයේ ප්‍රතිපත්තියක් විදිහට ඕපන් සෝස් පාවිච්චි කරනවා. අපේ රටේ තවම එහෙම එකක් සිදුවෙලා නැහැ.

ලංකා නෙට් ආයතනය විදිහට මෙය ප්‍රචලිත කරන්නට ගෙන ඇති පියවර මොනවාද?
ලංකා නෙට් මඟින් දැනට ඉල්ලීමක් කළ විට අවශ්‍ය අයට ඕපන් සෝස් සොෆ්ට්වෙයා(ර්) නොමිලේ ලබා දෙනවා. මීට අමතරව මෙහි අඩුවක් වෙලා තිබුනේ ට්‍රබල් ෂුටර්ස්ලා නැතිකම. ඒනිසා ඉදිරියේදී ඔවුන් පුහුණු කිරීමේ පාඨමාලාවක් පටන් ගන්නවා. ඇත්තටම අපි දකින තව දෙයක් නම් පරිගණක දැනුම නැතිකම. බොහෝ ආයතනවල තියෙන්නේ පරිගණක එකක් හෝ දෙකක්. එතකොට පරිගණකයක් ගන්න 50000-60000 ක් විතර වෙනවා. ඒවාගේම ඒවා 5ක් ගත්තොත් 50000 ඒවා 5ක් යනවා. ඒකට පිළිතුරක් ලෙස ඕපන් සෝස් පාවිච්චි කරලා එක ස(ර්)වරයකින් පරිගණක 10 ක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒවාගේ වැඩ දැනට කිහිපයක් කරලාත් තියෙනවා. අමාත්‍යාංශ එක්ක කතා කළත් මේ සම්බන්ධව ඔවුන්ගේ උනන්දුවක් නැහැ. නමුත් දැන් පරිගණක උගන්වන ආයතන ගණනාවක් මෙය පාවිච්චි කරනවා.
තොරතුරු දැන ගැනීම කියන්නේ මිනිසා ගේ මූලික අයිතියක් මෙයට තොරතුරු තාක්ෂණය යන්නත් ඇතුළු වෙනවා ද?
ඇත්තමට ඔව්. ඉදිරියේදී තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක අන්තර්ජාලය තමයි මිනිසාට ඉක්මනින්ම තොරතුරු දැන ගැනීමේ මුලාශ්‍රය වන්නේ. මෙහිදී දැනට පවතින පරිගණක දැනුම පිළිබඳ ඒකාධිකාරය නැති කිරීමෙන් පුද්ගලයාගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු වෙනවා.

සාමාන්‍ය මතය රජයෙන් පමණයි මානව හිමිකම් කඩ වෙන්නේ කියලා. නමුත් මේ ආකාරයට ජාත්‍යන්තර සමාගම් මඟිනුත් මිනිසාගේ මුලික අයිතිවාසිකම් කඩ වෙනවා නේද?
ඔව්. මේක ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක් පුරා උපක්‍රමිකව කරගෙන ආපු ප්‍රයෝගයක්. ඇත්තටම කොපි රයිට් අයිතිය නැති කිරීම නිසා සාමාන්‍ය මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සීමා කරනවා. මෙය සංවර්ධනය වන රටවල ජනතාවට ඉතා අපහසු දෙයක්. මොකද මේ රටවල ජනතාවට පරිගණකයක් ගන්න රුපියල් 50000ක් පමණ වැය වෙනවා. ඊට පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා සොෆ්ට්වෙයො(ර්) එකක් දාගන්න ඕනි. ඒ වියදම අපි වගේ රටවල මිනිස්සුන්ට දරන්න අමාරුයි. දැනට සිදුවන්නේ එවැනි පරිගණක ඒකාධිකාරයක් පැවතීම නිසා දැනුම තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමක්.

ඉදිරියේදී ඕපන් සෝස් භාවිතයේ තත්ත්වය කෙබඳු වේද?
බොහෝවිට ලංකාව වැනි රටවලට ලිනක්ස් සිස්ටම් එකට යන්න වේවි. නැත්නම් මයික්‍රොසොෆ්ට් ඒකාධිකාරයට යට වෙන්න සිදුවේවි.

ඕපන් සෝස් මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ තොරතුරු තාක්ෂණය පැත්තේන් පෙරළියක් සිදු කිරීමට නියමිතයි.
ඔව්. මිනිසුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මානව අයිතියක් ලෙස සලකනවා. මෙම තොරතුරු තාක්ෂණයට කොපි රයිට් නීතිය දැමීමෙන් වෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මුදල් නැති අයට සීමා කිරීමක්. ඕපන් සෝස් වලින් කරන්නේ ඒක බොහෝ දෙනාට නිදහසේ නොමිලේ ලබාදීමේ උත්සාහයක්. මේ සඳහා ඕපන් සෝස් කොමියුනිටිය තුළ දහස් ගණනක් වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. මිනිසුන්ගේ දැනුම පෞද්ගලික දෙයක් නෙවෙයි. එනිසා සාමුහිකව පාවිච්චි කළ යුතුයි, සාමුහිකව වර්ධනය කළ යුතුයි කියන පදනම තමයි මෙම ඕපන් සෝස්වල තියෙන්නේ. මෙය සෑම මිනිසෙකුටම සමානව සැළකීමේ පදනමක්.

Back to HOME Page

2 comments:

Unknown said...

very good Artical. But he was spoken about Opensource Operating System and Windows. But i never seen in Article the word Operating System. He gave examples Linux. It is o.k. But Open Source is a nice concept.

rightsnow said...

thanks your comment. we respect your idea.we will try to discuss next time.