පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ සිදු වු බරපතල ගණයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යයන්තර වශයෙන් එල්ලවු චෝදනාවලට රජය දුන් තාවකාලික පිළිතුර වුයේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. රජය මනා කැපවීමකින් යුක්තව ස්වාධීනව, සද්භාවයෙන් යුතුව මෙම කොමිසමේ කටයුතු වලට හැකි උපරිම සහයෝගය දෙන බව පෙන්වීමට ප්‍රබල උත්සාහයක් ගත්තද අදවන විට ජනාධිපති පරීක්ෂණ කොමිසම මුහුණ දී සිටින්නේ තීරණාත්මක අවස්ථාවකටය. සිදු වූ සුවිශේෂී ගණයේ පැහැර ගැනීම් ,අතුරුදහන් වීම් හා මිනී මැරීම් සිදුවීම් වලට අදාලව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට එල්ල වු චෝදනා මත එවැනි සිදුවීම් 16ක් පිළිබඳ පරීක්ෂා කිරීම මෙම කොමිසමේ අරමුණු විය.
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, රාජ්‍ය නොවන සංවිධානයක් වන ඇක්ෂන් කොන්ටෝහි සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, මුතූර් සාමාන්‍ය වැසියන් 14 දෙනාගේ ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය, ත්‍රිකුණාමලයේ සිසුන් 05 දෙනාගේ ඝාතනය, ශ්‍රී ලංකා සාම මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේතීෂ් ලෝගනාදන් ඝාතනය, සෙන්චෝලේ වැසියන් 51 දෙනෙකුගේ ඝාතනය, ගරු නිහාල් ජිම් බ්‍රවුන් පියතුමාගේ අතුරුදහන් වීම, පේසාලේ ධීවරයන් 05 දෙනා සහ තවත් අයගේ ඝාතනය, කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේදි පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය, පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානවලදී සිදුවු වැසියන් 10 දෙනාගේ ඝාතනය, කැඹිතිගොල්ලෑවේදී සිදුවු සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, වැලිකන්දේ දී සිදුවූ පුද්ගයන් 13 දෙනාගේ ඝාතනය, අවිස්සාවේල්ලේදී හමුවූ හිස රහිත මිනිස් සිරුරු 05 පිළිබඳ සිද්ධිය, 2006 සීගිරියේ දිගම්පතනයේ දී සිදුවූ ආරක්ෂක අංශ සාමාජිකයින් 98 දෙනාගේ ඝාතනය, පරීක්ෂාවට යෝජනා වූ සිදුවීම් 16 විය.
කොම්සමේ කටයුතු මෙහෙය වීමට පත් කරන ලද්දේ මීට පෙර මෙවැනි පරීක්ෂණ කමිටුවල කටයුතු කර පළපුරුද්ද ඇති මෙරට කීර්තිමත්, විද්වත් සිවිල් ක්‍රියාධරයන්ය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ නිෂ්ශංක උදලාගම සභාපති ලෙසත්, නීතීඥ උපවංශ යාපා, ආචාර්ය දේවනේසන් නේසයියා, කේ.ලෝගේෂ්වරන්, නීතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම, හිටපු විදුහල්පතනි ජෙසීමා ස්මයිල්, නීති ආධාර කොමිසමේ සභාපති එස්. එස්. විජේරත්න හා නීතීඥ ජාවේඞ් යුසුෆ් කොම්සමේ අනෙක් සාමාජිකයෝ වූහ. මීට අමතරව කොමිසමේ කටයුතු ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට අනුව විශ්වසනීයත්වයෙන් යුතුව සිදු වෙනවාද යන්න සොයා බැලීම සඳහා මානව හිමිකම් කේෂ්ත්‍රයෙහි ජාත්‍යයන්තර කීර්තියට පත් විනිසුරු ජී.එස්. භගවාති ඇතුලූ අද්විතීයයන් කණ්ඩායමක් මෙරටට ගෙන්වන ලදී.
විභාගයට නියමිතව තිබූ සිදුවීම් 16න් මුතූර්හි රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයින් 17 දෙනාගේ ඝාතනය හා ත්‍රිකුණාමලයේ සිසූන් 05 දෙනාගේ ඝාතනය මුලින්ම කොම්සම ඉදිරියට කැඳවූ ඒවාය. එහිදී වින්දිතයන්ගෙන් සාක්ෂි ඉදිරිපත් කරවා ගැනීම, ඇසින් දුටු සාක්ෂි ලබා ගැනීම, සිදුවීම් සිදුවූ අවස්ථාවේ පැවති පරිසර තත්ත්වය හා ප්‍රදේශයේ පැවති වාතාවරණය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම කොම්සමට මුල සිටම තිබූ අභියෝගයන් විය. ඇතැම් සිදුවීම් පිළිබඳ කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතියේ ඊට අදාල සියළු පුද්ගයන් සමූල ඝාතනය කොට තිබූ බැවිනි.
එම වාතාවරණය තුළ පුද්ගයන්ට සාක්ෂි දීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට ජාත්‍යයන්තර නීතියේ සංක්‍රමණික යුක්තිය යටතේ කොම්සම උත්සාහ දැරූහ. නමුත් එහි ඉතා වැදගත්ම අංශය වන යුක්තිය පසිඳලීමට පෙර සත්‍ය ගවේශනය කිරීම සාර්ථකව සිදු නොවීය. ඒ ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන නොමැති කමෙනි. ඉන් පසු පරීක්ෂණ වලදී කොම්සම මුහුණ පෑ ප්‍රබලම අර්බුදය වූයේ ජනතාව සාක්ෂි දීමට කොමිසම ඉදිරියට නොපැමිණීමය. ඇතැම් සිදුවීම් සම්න්ධ කට උත්තර පොලිස් වාර්ථාවල සටහන් වුවද ඉන් සත්‍යය ගම්‍යය නොවීය. මෙහිදී සාක්ෂිකරුවන්ගේ හා වින්දිතයන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිඳු සහතිකයක් රජය ලබා දී නොතිබිණි. රජය ඔවුන්ට දුර බැහැර සිට හෝ විදේශයන්ගේ සිට සාක්ෂි දීමට කොමිසමේ පළමු පියවරේදී වීඩියෝ පට හා සැටලයිට් හරහා පහසුකම් සලසා දී තිබුණද දෙවන පියවරේදී එම පහසුකම් නවතා දැමුවේ ඒ සඳහා අධික පිරිවැයක් දරන්නට සිදුවන බව කියමිනි.
මෙහිදී විමර්ශනයට බඳුන් වූ සිදුවීම්හි චූදිතයන් වූ හමුදා සහ විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් ගෝම්න් දයාසිරි, එස්. එල්. ගුණසේකර නීතීඥවරුන් ලෙස පෙනී සිටි අතර ඔවුන් සැටලයිට් මඟින් සාක්ෂි දුන් සාක්ෂිකරුවන්ගෙන් ඉතා අපහාසාත්මක හා බිය ගන්වන සුළු ආකාරයෙන් ප්‍රශ්න කරවන ලදී.
කොම්සමේ විමර්ශන කටයුතුවල සිදුවන, සිදුනොවිය යුත්ත තවදුරටත් ඉවසීමට නොහැකි වූ තැන කොමිසම ආරම්භ වී වසර එක හමාරකට පසු මෙරට මානව හිමිකම් ක්‍රියාධරයන් ලෙස කටයුතු කරන සිවිල් සංවිධාන වන ඉන්ෆෝම්, නීතිය හා සමාජ භාරය, රයිට්ස් නව්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ, මානව හිමිකම් නිවස, ශ්‍රී ලංකා නීතිවේදී සංගමය මේ විමර්ශන කටයුතු වෙනුවෙන් මැදිහත් වීමට කොමිසමෙන් අවසර ඉල්ලන ලදී . ඒ 1948 ජනාධිපති විමර්ශන කොමිසන් සභා පනතෙහි 16 වන වගන්තිය යටතේ මැදිහත් වීම සඳහා ඉල්ලූම්පතක් කොමිසමට ඉදිරිපත් කිරීමෙනි.
ඔවුන්ගේ මෙම මැදිහත් වීමට ප්‍රධාන හේතුව වූයේ වින්දිතයන්ගේ පවුල්වලින් මැදිහත් වන ලෙස කෙරුනු ප්‍රබල ඉල්ලීම්, කොම්සමේ සාක්ෂි මෙහෙයවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම හා එම නිලධාරීන්ගේ හැසිරීම් රටාව පිළිබඳව මුල සිටම ඇතිව තිබූ අවිශ්වාස කටයුතු ස්වභාවය හේතුවෙනි. මානව හිමිකම් සම්බන්ධයෙන් මුල සිටම ඔවුන්ගේ කිසිඳු සංවේදීතාවයක් නොතිබුණු බව පැහැදිලිව දක්නට තිබූ කරුණකි.
මේ කුමන ආකාරයෙන් මැදිහත් වීම් සිදු කෙරුණද පරීක්ෂණ කොමිසමට ආරම්භයේ සිටම සිදු වූයේ රජයේ අභිමතයට කටයුතු කරන්නටය. ලෝක ප්‍රජාවට පේන්නට පත් කළ කොමිසමේ කටයුතු විනිවිද භාවයකින් හා ප්‍රමිතියකින් තොර බවට රජයේ ආරාධනයෙන් පැමිණි අද්විතීයයන්ගේ කණ්ඩායමද රජයට වරින් වර පෙන්වා දුන්හ. වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක් කිරීම, සාක්ෂිකරුවන්ට සාක්ෂි දීම සඳහා පහසුකම් නොසැලසීම, සාක්ෂි විමසීමට පෙර සත්‍යය ගවේෂනයට අදාල පහසුකම් නොසැලසීම, සාක්ෂි මෙහෙය වීමට විධායකය මැදිහත් වීම, ඉතා වැදගත් සාක්ෂි කරුවන් කැඳවීමට රජය සැබෑ උවමනාවකින් කටයුතු නොකිරීම, විශේෂ කාර්ය බලකායේ, හමුදාවේ හා නාවික හමුදාවේ මැදිහත් වීම් පිළිබඳ සාක්ෂිකරුවන් බොහෝ බරපතළ කරුණු අනාවරණය කරමින් සිටින අවස්ථාවේ ඊට බාධා විය හැකි පියවර ගැනීම, අද්විතීයයන්ගේ කණ්ඩායම සමඟ සබඳතාව හොඳින් පවත්වාගෙන නොයාම හා ඔවුන්ව අභියෝගයට ලක් කිරීම, නීතිපතිවරයා හා නීතිපති දෙපාර්තමේන්තුවේ දෙබිඩි ක්‍රියා කලාපය, කොමිසමේ කටයුතු සඳහා අවශ්‍යය මූල්‍යමය ප්‍රතිපාදන ලබා නොදීම හා තිබූ ප්‍රතිපාදන බොරු ගොඩකින් වසා කපා හැරීම ඇතුළු කාරණා රැසක් පිළිබඳව වාර්ථාවක් දී අවසානයේ අද්විතීයයෝද කොමිසමට ආයුබෝවන් කියා ආපසු ගම් බිම් බලා ගියෝය.
සැබෑ දේශපාලන වුවමනාවකින් තොරව ලෝක ප්‍රජාව ඉදිරියේ ශුද්ධවන්තයින් ලෙස පෙනී සිටීමට පත්කළ ජනාධිපති කොමිසම අඩපණ කිරීමට සියළු ප්‍රයෝග දා අවසානයේ රජය දැන් හැරී ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විනිසුරු මඩුල්ල වෙතය. විමර්ශන කටයුතු වලදී සාක්ෂි ලබා දීමට පළමු අදියරේදී භාවිතා කළ සැටලයිට් මාර්ග මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් කපා දැමූ පසු කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන නිශ්ශංක උදලාගම අද්විතීයයන් පැමිණි රටවල් සමඟ සාකච්ඡා කොට නැවත ඔවුන් හරහා මෙම පහසුකම සාක්ෂිකරුවන්ට ලබා දිය හැකි මාර්ගයක් වෙනුවෙන් වෙහෙසුණේය. සභාපතිවරයා රජයේ ඉහළ පුටුවල උදහසට ලක් වූයේ ඒ නිසාය. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ කොමිසමේ අවශ්‍යතා ඉස්මතු කරමින් විදේශ මුදල් සාක්කුවට දමා ගන්නට උත්සාහ කිරීමය.
ඊළඟ චෝදනාව එල්ල වූයේ ආචාර්ය දේවනේසන් නේසයියා වෙතය. සිවිල් සංවිධානවල උපදේශකයෙකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කළ වෙබ් අඩවි, ලිපි ලේඛන හරහා සිය ක්‍රියාකාරකම් නොසඟවා හෙළිකළ කොමිසමේ සිටි ඉතාම ක්‍රියාශීලී දෙමළ සාමාජිකයාට කොමිසමෙන් ඉවත් වීමට පසුබිම සලසන ලදි.
කොමිසමේ සාමාජිකයින් දඩයම් කිරීමේ රජයේ ලැජ්ජා සහගත ක්‍රියා කලාපය නිසා නේසයියා කොමිසමේ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වූයේය. කොමිසමේ සභාපති විදේශ රාජ්‍යයක කුමන්ත්‍රණකාරයෙක් ලෙසත්, NGO ඉත්තෙක් ලෙසත් හංවඩු ගසා රජය තමන්ගේ ගමනට ඇති අවහිර ඉවත් කර ගනිමින් සිටී. අදවන විට කොමිසමේ කටයුතු සිදුවන්නේ රජයට අවශ්‍ය ආකාරයටය. ජනාධිපති මහින්ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් කොමිසම තල්ලූකරන්නට අර අදින්නේ ඒක පාර්ශ්වික විමර්ශනයක් වෙතය. දිගින් දිගටම වෙමින් පවතින මෙම සිදුවීම් දාමය හරහා කොමිසමේ සියළු කටයුතු හා සාමාජිකයන් අභියෝගයකට ලක්වීම තුළ එහි හරය බිඳ වැටෙමින් පවතී. ඒත් සමඟම මේ පසුබිම තුළ වින්දිතයන්ගේ ඉල්ලීම පිට මැදිහත්කරුවන් ලෙස සහභාගී වූ සිවිල් සමාජ ක්‍රියාධරයන් ඉන් ඉවත්වීමේ අවදානමක්ද පවතී. එසේ වුවහොත් කබලෙන් ලිපට වැටෙන්නේ සාක්ෂිකරුවන් හා වින්දිතයන්ය. මන්ද ඔවුන්ට තිබූ අවසාන පිළිසරණද නැතිවන බැවිනි.
ඒ රජයේ විහිළු සහගත, දෙබිඩි ක්‍රියාකාරකම් හමුවේ කොමිසමේ විවිධ පාර්ශවයන් කොමිසමට සිය අවසාන ගෞරවය දක්වන්නට පටන් ගෙන ඇති නිසාය. මැරෙන්නට පෙර ගිලනුන්ට අවසාන ගෞරවය දක්වන්නට යාම නොකටයුත්තක් වුවද රජය අද සිදුකරන්නේ හොඳින් නැත්නම් නරකින් හෝ එකී පාර්ශවයන් ලවා කොමිසමේ අවසාන කටයුතු කරවා මළබත කෑමටය.
No comments:
Post a Comment